ඇය සූරිය මලකි (ඩොරින් වික්‍රමසිංහගේ කතාව) 06 කොටස

ඩොරින් යං මෙනවියගේ  හා දොස්තර සූගීශ්වර අබේවර්ධන යුවළගේ විවාහය දක්වා  තොරතුරු අප පසුගිය කොටසින් ඔබ හමුවේ තබා ඇත්තෙමු.

ඩොරින්ගේ විවාහයෙන් පසු  කොළඹ නගරයේ පවත්වාගෙන ගිය ප්‍රධාන පෙළේ බෞද්ධ බාලිකා විද්‍යාලයක් වන ආනන්ද බාලිකා විද්‍යාලයෙහි විදුහල්පති තනතුර භාර ගන්නා ලෙස පී. ද එස්. කුලරත්න මහත්මා විසින් ඩොරින් වික්‍රමසිංහ මහත්මියට ඇරයුම් කරන ලදී.

එම පාසැල 1925 වසරේදී හිල්ඩා කුලරත්න මහත්මිය විසින් ආරම්භ කරන ලද ලන්ඩන් මැට්‍රික් විභාගය දක්වා වූ පංති වලින් යුත් ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක් විය.  නගරයෙන් පිට පළාත්වල සිට අධ්‍යයන කටයුතු සඳහා පැමිණෙන බාලිකාවන් සඳහා  නේවාසිකාගාරයකින්ද යුක්ත වූ මෙම පාසැල බෞද්ධ බාලිකා පාසැල් අතර ප්‍රමුඛ ස්ථානයක් ගත් පාසැලකි.
1933වසරේ සිට 1936 දක්වා මෙම පාසැලෙහි සේවය කල ඩොරින් වික්‍රම සිංහ මහත්මිය එම කාලය තුළ එම පාසැලේ සැලකිය යුතු ප්‍රතිසංවිධානයක් ගෙන ගිය අතර ගුරුවරු හා සිසුවියන් අතර වූ සාම්ප්‍රදායික බැමි කඩා බිඳ දැමුවාය. ක්‍රීඩාව කෙරෙහි සිසුන්ගේ අවධානය යොමු කළ අතර පාසැල තුළ විවිධ ක්‍රීඩා තරග පැවැත්වීමට කටයුතු කළාය. ඇය විසින් සංවිධානය කරන ලද නෙට්බෝල් තරගාවලියක දී  රෝහල් හෙදියන්ගේ කණ්ඩායමට එදිරිව පාසැල් කණ්ඩායම වෙනුවෙන් ඇය බාලිකාවන් සමග තරග වැදුණාය. තම ගුරුමණ්ඩලය සමග මිතුරියන් මෙන් ඇසුරු කළ ඇය  ඔවුන්ගේ දැනුම නංවාලීම සඳහා විවිද ක්‍රියාකාරකම් සිදුකල අතර එකල අප රට තුළ මෙන්ම ඉන්දියව තුළද උත්සන්නව පැවැති නිදහස් අරගලය පිළිබඳව දැනුම ලබා දීමට ක්‍රියා කළාය. වරෙක ඇය ගුරුමණ්ඩලය සමග විනෝද චාරිකාවක් සඳහා ඉන්දියාව බලා  ගියාය. ඇයගේ මෙම ක්‍රියාකාරකම් බාලිකාවන්ට මෙන්ම ගුරුවරියනටද මහත් ආශ්වාදයක් ගෙන දුනි. ඉන්දියානු නිදහස් අරගලය මෙන්ම ඉන්දියානු දේශපාලනය හා සංස්කෘතිය පිළිබඳවද තම පාසැලේ බාලිකාවන්ට පුළුල් දැනුමක් ලබාදීමට ක්‍රියා කළ ඇයට වරක් ලංකාවට පැමිණි රවින්ද්‍රනාත් තාගෝර්තුමා ඇතුළු කණ්ඩායමට  ඉඳුම් හිටුම් හා ආහාරපානයෙන් ද සංග්‍රහ කිරිමට ආනන්ද බාලිකාවන්ට අවස්ථාව ලබා දෙන ලද අතර එම කණ්ඩායම ආනන්ද බාලිකාවෙහි නේවාසිකා ගාරයේ ලැගුම් ගත් මුලු කාලයම ඔවුන් ගේ රැගුම් ගැයුම් නැරඹීමට පාසැල් බාලිකාවන්ට මෙන්ම ගුරු මණ්ඩලයට ද අවස්ථාව  ලබා දෙන ලදී.

එමෙන්ම  වික්‍රමසිංහ යුවල ඉන්දීය නිදහස් අරගලයේ නායකයන් සමග තිබූ මිත්‍රත්වය නිසාම කිහිප වතාවක් ම නිදහස් අරගලයේ නායකයන් මුණගැසීමට ඔවුන් සිරගතව සිටින අවස්ථාවල දී ඉන්දියාවේ සිරගෙදරට පවා යාමට ඉදිරිපත් වූහ.
අප රට තුළ නිදහස් අරගලය ඉදිරියට ගෙනගිය අය අතර වාමාංශිකයන් කැපීපෙනෙන මෙහෙයක් සිදුකළ අතර  නමසිය තිස්ගණන්වල මුල්භාගයේ ව්‍යවස්ථාදායකය තුළ සිටි එකම වාමාංශික මන්ත්‍රීවරයාගේ බිරිඳ ලෙස ඩොරින් වික්‍රමසිංහ හිමි කරගන සිටි සමාජ තත්වය ඉතා ප්‍රසාදජනක විය. එකල අධිරාජ්‍ය විරෝධී අරගලයේ සිටි වාමාංශිකයන්ගේ බිරින්දෑවරුන් අතරද ඩොරින් වික්‍රමසිංහට හිමිව තිබූයේ විප්ලවවාදිනියකගේ  ස්වරූපයකි.  මෙම කාලය තුළ අධිරාජ්‍යවාදීන් විසින් පළමු ලෝක යුද්ධය සිහිපත් කරමින් යුධකාමය ඇවිස්සීමේ උත්ප්‍රේරකයක් ලෙස ගෙනගිය පොපිමල් ව්‍යාපාරයට විරුද්ධව ආරම්භ කරන ලද සූරියමල් ව්‍යාපාරයෙහි කැපීපෙනෙන නායිකාවක් වූ ඇය ආනන්ද බාලිකාවේ විදුහල්පති නිවස්නය සූරියමල් ව්‍යාපාරයේ මූලස්ථානය බවට පත්කර තිබු අතර ඇය ගේ යෙහෙළියන් මෙන්ම ගුරුමණ්ඩලයේ ගුරුවරියන්ද සුරියමල් ව්‍යාපාරයේ ක්‍රියාකාරින් බවට පත් කිරීමට ඇයට හැකි විය.

සරත් රත්නායක

මතු සබැඳේ.
මුල් කොටස්වලට මෙතැනින් යන්න.

Leave a Comment